• ISSO - INTERNATIONAL SOCIAL SERVICE ORGANIZATION - GOVERNMENT GAZETTED APPROVED CHARITY IN SRI LANKA
  • INFO@ISSOLK.ORG
  • International Social Service Organization
DONATE NOW

Gems on concessionary price to you from us certified by
Gems and Jewellery Authority Sri Lanka

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහතික පත්‍රය සමග
ඔබට අවශ්‍ය මැණික් සහන මිලට අපෙන්……….

ග්‍රහ බලපෑම් දුරුකිරීම සඳහා පළදින මැණික්

ජ්‍යෝතිෂය ලොව පැරණිතම ශාස්ත්‍ර අධ්‍යාපනය වේ.එය පුරාතණ ඉසිවරයන්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදයකි. සූර්යා වටා භ්‍රමණය වෙමින් පවතින ග්‍රහයන්ගේ බලපෑම පෘතුවි ග්‍රහලෝකයේ ජීවත්වන අප මනුෂ්‍ය ජීවිතයට බලපෑම් ඇතිකරන ආකාරය පිළිබඳව මෙලෙස ඉපැරණි ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය තුල විචාරාත්මකව සටහන්ව ඇත .

අපගේ ජීවිත ගමනට බලපෑම් ඇතිකරන මෙම ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වයට වැඩි සම්බන්ධතාවයක් ඇති, අප මහ පොළවෙන් සොයාගන්නා විවිධ මැණික් වර්ග සහ පරිසරය වර්ණවත් කරන වෘක්ෂලතාවන්ගෙන් ඇති වන බලපෑම මෙලෙස පුරාතන ඉසිවරයන් විශේෂයෙන්ම සටහන් කර තබා ඇත.

යම් යම් රෝගයන් සුව කිරීමට හා ඉන් මිදීමට ද, විවිධ කරදර බාධක වලින් වැළකී සිටීමට ද  විවිධ කටයුතු සහ පෞද්ගලික දියුණුව සඳහා මැණික් වර්ගවල බලපෑම පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉතිහාසයේ වේද සටහන්වල ලියවී ඇත. ග්‍රහ බලපෑම් සඳහා පළඳින මැණික් වර්ග පළුදු නොවූ ඉතාමත් පිරිසිදු ස්වභාවික ඒවා වීම අනිවාර්ය විය යුතුය. එසේ වූ විට ලැබෙන ප්‍රතිඵල ජීවිත ආලෝකමත් කිරීමට හේතු වේ.නමුත් පළුඳු වූ මැණික් වර්ග අප පැළදීමෙන් තමා තුල තිබෙන ශක්තිය, ඥානය සහ සම්පත් ආදිය විනාශ වී යාම පමණක් නොව එයින් තමා විසින්ම ජීවිතයට කරදර බාධක ළඟා කරගැනීමට ඉඩප්‍රස්ථාව ළඟා කරගනී. 

පද්මරාග :-

රවි හෙවත් ඉරු ග්‍රහයාගෙන් සිදුවන අපල උපද්‍රව දුරු කිරීම සඳහා පද්මරාග මැණික් ගලක් පැළඳීම සුදුසු වේ. ශරීරයට ස්පර්ශ වන අයුරින් මෙම මැණික් ගල පැළඳිය යුතුය. පද්මරාග තැඹිලි වර්ණය හා කහ වර්ණය අතර වූ නෙළුම් මලේ කෙමියේ ඇති රේණුවල වර්ණය හා සමාන වේ. පද්මරාග මැණික් ගල අතෙහි පැළඳ ඉඹුල් වෘක්ෂයට පිරිසිදු ජලය වත්කරමින් එම ශාකයට සාත්තු කිරීමෙන් රවි ග්‍රහයාගෙන් සිදුවන අපල දුරුවන බව පැරණි පොත්වල සඳහන්ව ඇත.

ස්වභාවයෙන්ම පද්මරාග මිල අධික මිණි කැටයකි. ධනය, බලය හා නායකත්වය ආදිය ලැබීමට මෙම මිණි කැටය පැළඳිය යුතු බව සඳහන් වේ. පළුදු වූ හෝ කඩතොළු වූ පද්මරාගයක් නොදැනුවත්ව හෝ පැළඳ සිටීම තුලින් තමාගේ පෞද්ගලික පිරිහීමට, ධනය විනාශ වීමට සහ අපවාදවලට ගොදුරු වීමට මෙන්ම නිතරම බයෙන් යුතුව ජීවත් වීමට හේතු වේ.

රතු මැණික් :-

කුජ හෙවත් අඟහරු ග්‍රහයාගෙන් සිදුවන ග්‍රහ අපල සඳහා රතු මැණික් පැළඳිය යුතුය. රතු මැණික් ගල් පැළඳීම තුලින් සහෝදර සහෝදරියන්ගේ හොඳ හිත දිනාගැනීමටත් ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමටත් හැකි වේ. එමෙන්ම සොර සතුරු උපද්‍රව අවම කර දියුණුව ඇති කරයි. ධෛර්යය හා වීර්යය ඇති වන අතර ආයුෂ වැඩි වීමද රතු කැට පැළඳීම තුලින් සිදු වේ.

රතු මැණික් වෙනුවට රතු කොරල් පැළදීමෙන් තමන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබේ. එසේම ඔබ විසින් අනිවාර්යෙන්ම කොළොන් වෘක්ෂයට ජලය වත්කර සාත්තු කිරීමෙන් ඔබට බලපාන ග්‍රහ අපල දුරු කරගැනීමෙන් ඔබට යහපතක්ම සිදුවේ. Ruby යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මේවා හඳුන්වනු ලැබේ.

මුතු :-

ගැඹුරු සාගරයේ ජීවත්වන මුතු බෙල්ලන්ගේ ලබාගන්නා ඉතා දුබල මෙන්ම වටිනා මුතු ඇට සඳු ග්‍රහ අපල දුරු කරගැනීම සඳහා පළදනු ලැබේ. මැණික් මෙන්ම මුතු ඇටද වර්තමානයේ නිර්මාණය කරන ලද ව්‍යාජ කෘතිම ඒවා වෙළඳපොලේ නිතර අපට දක්නට ලැබේ. එබැවින් නිවැරදි ස්වභාවික මුතු සොයා පැලඳීමට වර්තමානයේදී ඉතාමත් සුපරීක්ෂාකාරී විය යුතුය. චන්ද්‍ර හෙවත් සඳු ග්‍රහයාගේ බලපෑම්වලින් සිදුවන කරදර බාධාවලින් මිදීමට අනිවාර්යෙන්ම ස්වභාවික මුතු පැළඳිය යුතුමය. චන්ද්‍රකාන්ත යන නාමයෙන්ද මෙම ග්‍රහයා හඳුන්වනු ලැබේ.

ඒ සමගම තම සිතුවිලි එක්ව තබාගෙන දිඹුල් වෘක්ෂයටද ඔබ විසින් පිරිසිදු ජලය වත්කරමින් සාත්තු කළ යුතුය. සියලුම මුතු වර්ගවල ගැබ්වූ විශාල ගුප්ත බලවේගයක් ඇත.මහ පොළවෙන් ලබා නොගන්නා නමුත් ජීවිතවලට විශේෂ බලපෑමක් ඇති කළ හැකි ශක්තියක් මෙහි ගැබ්ව ඇත. සඳු ග්‍රහයාගෙන් අධිපතිභාවයෙන් මුතු පැළඳීම  නිසා සෞභාග්‍ය, බුද්ධි වර්ධනය හා කීර්තිය ලැබීම අනිවාර්යෙන් සිදුවේ.

සුදු මැණික් :-

මනමාල ග්‍රහයා වශයෙන් අප සමාජයේ හඳුන්වන්නේ සිකුරු ග්‍රහයයි. මෙම ග්‍රහයා මගින් සිදුවන අපල පෞද්ගලික ජීවිතයටද බොහෝ විට බලපානු ලැබේ. මෙයින් සිදුවන අපල උපද්‍රවයන්වල දී තරුණ තරුණියන් බොහෝ විට තම විවාහය පමා වීමෙන් තමාගේ හදවත තුල මානසිකව කඩා වැටීම හේතුවෙන් තම එදිනෙදා රාජකාරිද අතපසු කරගනී. එමගින් තමාගේ ජීවිතයේ දියුණුව ක්‍රමයෙන් හීන වී යයි.

සුදු මැණික් පැළදීමෙන් සිකුරු ග්‍රහ අපල දුරු වන අතර ආදරය, සමගිය, විනෝදය ලැබීම මෙන්ම යාන -වාහන, රෙදිපිළි සහ නිවාස ලැබීමටද භාග්‍ය උදාකරන බව ඍෂිවරුන් සඳහන් කර තිබේ. විශේෂයෙන් කලා කටයුතුවල නිරතවූවන්ට පැළදීම ඉතා යෝග්‍ය වේ. එබැවින් නිවැරදි පළුදු නොවූ සුදු මැණිකක් තමාගේ ශරීරය හා ස්පර්ශ වන ආකාරයට පැළඳ කරඳ වෘක්ෂයට සාත්තු කිරීම තුළින් යහපත් ප්‍රතිඵල ලඟා කරගත හැකිය. 

පුෂ්පරාග :-

මෙම මැණික් ගල ඇසට ප්‍රියවන ආකාරයේ පැහැදිලි ලා කහ පාටකින් යුක්ත වේ. ඉංග්‍රීසි භාෂාවෙන් Yellow Sapphire යනුවෙන් හඳුන්වනු ලැබේ. ගුරුගේ හෙවත් බ්‍රහස්පති ග්‍රහයාගෙන් සිදුවන ග්‍රහ අපල සඳහා නියමිත කහපාටින් යුක්ත වූ පුෂ්පරගයක් පැළදීම තුලින් ග්‍රහදෝෂ දුරු වේ. බෝ වෘක්ෂයට සාත්තු කිරීම හෙවත් බෝධිය නැවීම වඩාත් සුදුසුය. කීර්තිය, සැපය හා ඥානය වර්ධනය කරන අතර දරුඵල ලැබීමටද වාසනාව පෑදෙන අතර පවුලේ අසමගිය දුරුකර බොහෝ යස ඉසුරු ලැබීමට සහ තනතුරු ලැබීමට මෙන්ම ප්‍රභූවරුන්ගේ ගෞරවයට පාත්‍රවීමට ද හේතු වේ.

වෛරෝඩිය :-

 

මුතු මෙන්ම ආකර්ෂණය සඳහා පළඳින වෛරෝඩි මැණික් කේතු ග්‍රහයාගෙන් ඇතිවන ග්‍රහ දෝෂ සඳහා පළදනු ලැබේ. අද වනවිට වෙළඳපොලේ විශාල වශයෙන් ව්‍යාජ කෘතීම මැණික් වර්ග බහුලව ඇත. එබැවින් අද බොහෝදෙනෙකු කෘතීම වෛරෝඩිවලට රැවටී තමන්ගේ වටිනා මුදල වියදම් කර වෛරෝඩියක් පැළදුව ද තමන්ගේ ග්‍රහ අපල දුරුවීමක් සිදු නොවේ. වෛරොඩි මැණික්වලට නියමිත වර්ණයක් නොමැත. ඉංග්‍රීසි භාෂාවෙන් Cat’s eye යනුවෙන් හඳුන්වනු ලබන මෙම මැණික් ඇතුළත “ඉර සටහන ” පැහැදිලිව ගමන් කරන බව අපට විද්‍යමාන විය යුතුය. එහෙයින් කෘතීම මැණික් ගලේ සහ නිවැරදි ස්වභාවික මැණික් ගලේ වෙනස සොයාගැනීමට පහසුම ක්‍රමය වන්නේ මැණික් ගල තුළ එහා මෙහා ගමන් කරන විශේෂ වූ මෙම ඉරයි. කෘතීම ගලේ නියම ආකාරයට එම ඉර ගමන් නොකරන බව පැහැදිලි වේ. පැණි පාට වෛරෝඩියට Honey cat’s eye යනුවෙන් කියනු ලැබේ.

ලා කහ වර්ණ, සුදු වර්ණ සහ ලා කොළ වර්ණයන් ආදී වර්ණ කිහිපයකින් මෙය යුක්ත වේ. කේතු ග්‍රහයාගෙන් සිදුවන ග්‍රහ අපල සඳහා පළඳින වෛරෝඩියේ වර්ණයේ බලපෑමක් නොමැත. නමුත් එහි තුළ තිබෙන විශේෂ ඉර අනිවාර්යෙන් පැහැදිලිව බළලාගේ ඇස මෙන් දකුණට සහ වමට ගමන් කළ යුතුය. නියමිත ස්වභාවික සත්‍ය වෛරෝඩියක් පැළඳ එකම කෙසෙල් ගසකට නිවැරදිව දිනපතා ජලය වත්කරමින් සාත්තු කිරීම කළ විට ක්‍රමයෙන් කේතු ග්‍රහයාගෙන් බලපාන අපල උපද්‍රව දුරු කර ඥානය සහ බුද්ධිය වර්ධනය කර ශරීරය පෘෂ්ටිමත් කරන බව පැරණි ඉසිවරයන්ගේ සටහන්වල විශේෂයෙන් සඳහන්ව ඇත. වාත රෝග සහ සෙම් රෝග දුරුකර ශරීරයේ පෝෂණ ඌනතවයන් ක්‍රමයෙන් ඉවත්කර ශරීර ශක්තිය වර්ධනය කිරීමට අනිවාර්යෙන්ම ඉවහල් වේ.

පච්ච/ මරකත:-

 

බුධ ග්‍රහයාගෙන් සිදුවන අපල සඳහා මරකත හෙවත් පච්චවර්ණ මැණික් ගලක් පැළඳීම කළ යුතුය. ඉංග්‍රීසි භාෂාවෙන් Emerald යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙය ඉතාමත් තද කොළ වර්ණයක් ගනී. “මරණයෙන් එතෙර කරන්නේය” යන අරුතින් මෙම මැණික්ගලට මරකත යන නම ලැබී ඇති බව ඉසිවරයන්ගේ සටහන්වල සඳහන්ව ඇත. විශේෂයෙන් දෙවාකර්ෂණය ලැබී මානසික ආබාධ අවම කර බුද්ධි වර්ධනයට මරකත මැණික්ගලට හැකියාව ඇති බව ඉපැරණි ඉසිවරයන් සඳහන් කර ඇත. විශේෂ ඖෂධයක් වූ කොහොඹ ශාකයට සාත්තු කිරීමෙන් බුධ ග්‍රහයාගෙන් සිදුවන අපල අනිවාර්යයෙන් මග හැරෙන බව සත්‍යය වේ.

නිල් මැණික් :-

ඉංග්‍රීසි භාෂාවෙන් Blue Sapphire යනුවෙන් මෙම නිල් මැණික් හඳුන්වනු ලැබේ. නිල් මැණික් වර්ග රාශියක් තිබෙන බව අප විශේෂයෙන් දන්නා කරුණක් වුවද පළමු පන්තියේ දෙවැනි පිය යන මේ ආකාරයෙන් නිල් මැණික් පන්තිවලට බෙදා වෙන්කර දක්වා ඇත. වාසනාවන්ත මිණි කැටයක් වන මෙම නිල් මැණික් පැළදීමෙන් ඉවසීම, ගැඹුරු ඥානය සහ ඕනෑම කරදර බාධක දරාගැනීමේ ශක්තිය ලැබෙන බව ඍෂිවරුන් විශේෂයෙන් සටහන් කර ඇත.

ගෝමේද :-

රාහු ග්‍රහ අපල සඳහා ගෝමේද මැණික් ගල් පැළදීම තුළින් රාහු ග්‍රහ අපල දුරුවී සම්පත් හා වීර්යය ලැබෙන බව නියතයි. හදිසි අනතුරු අවම කරන අතර උෂ්ණාධික රෝග හා මානසික ආබාධ අවම කරයි. Zircon යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මෙම මැණික් ගල හඳුන්වනු ලැබේ. තැඹිලි වර්ණයට සමාන වර්ණයක් මෙහි ඇත.සමහර ගෝමේද ගල් රතු සහ කහ මිශ්‍ර වූ වර්ණයක් ගෙනදේ. යම් විදියකින් පළුදු වූ ගෝමේදයක් පැළදීමෙන් තම සන්තකයේ වූ සම්පත් සහ වීර්යය ක්‍රමයෙන් විනාශ වී ශුන්‍ය වන බව වේද පොත්පත්වල විශේෂයෙන් සඳහන් කර ඇත. ගවයාට සම්බන්ධ වූ වර්ණයක් ගෙන දෙන බැවින් ගෝමේද යනුවෙන් මෙම මැණික් වර්ගය හඳුන්වනු ලැබේ. වැටකෙයියා ශාකයට සාත්තු කිරීම ද අනිවාර්යෙන් කල යුතුය.

Translate »